ශ්‍රි ලංකා කණ්ඩායම ජෛව බුබුලට ඇතුලත් කෙරේ..

එළැඹෙන ඕමාන තරඟ සංචාරය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන 23 කින් යුක්ත ශ්‍රි ලංකා සංචිතය ජෛව ආරක්ෂිත බුබුලකට එක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සදහන් කළා.

” ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය පසුගිය මාස 10 තුළ දින 228 ක් බුබුලක් තුළ ගත කර ඇත.. සියලු දෙනාගේ ආකල්පය සහ කැපවීම ගැන ආඩම්බර වන්න! සෑම දිනකම යහපත් වී මේ රටට සාර්ථකත්වය ගෙන ඒමට අපි අදිටන් කරගෙන සිටිමු.. ” යනුවෙන් මිකී ආතර් ඔහුගේ ට්විටර් ගිණුම හරහා දක්වා තිබුණි.

නිමා වූ දකුණු අප්‍රිකා තරඟ සංචාරයේදී ලහිරු මධුශංක ආබාධයට ලක්වූ අතර 19 යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය 18 දක්වා අඩු විය. එමනිසා තවත් ක්‍රීඩකයන් 5 ස් දෙනෙක් සංචිතයට එක් කරගෙන ඇති අතර කණ්ඩායම 18 සිට 23 දක්වා ඉහළ ගොස් තිබේ. සියලු දෙනා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ නිරෝධායනය වීමට නියමිතය.

ලක්ෂාන් සඳකැන්, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, මිනෝද් භානුක යන ක්‍රීඩකයන් මෙලෙස කණ්ඩායම සමඟ එක් වී තිබේ. නමුත් තවමත් විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අවසන් 15 නම් කර නොමැති අතර ඔක්තෝම්බර් 10 දින දක්වා ICC ය විසින් මේ සඳහා කාලය ලබා දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් 24 පුහුණුවීම් ආරම්භ කරන අතර ඔක්තෝම්බර් 2 දා ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යන අතර 07 සහ 09 එහිදී විස්සයි විස්ස තරඟ දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතය. එසේම ICC ය විසින් සංවිධානය කරන පුහුණු තරඟ දෙකක් 12 සහ 14 දෙදින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතය. ඔක්තෝම්බර් 18 ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා නැමිබියව සමගින් පළමු තරගය ක්‍රීඩා කරනු ඇත.

Leave a Comment