අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන් – ධම්මික ප්‍රසාද්

1982 වර්ෂයේ ටෙස්ට් වරම් දිනාගත් අප ක්‍රිකට් ලොව බලවතුන් හා උරෙන් උර ගැටි කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයේ ජය පැන් බීමට සමත් වුණා. එකි ජයග්‍රාහණය තුළින් ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ ඔසවා තැබීමට එකළ අපගේ ක්‍රීඩකයින් කළ කැපවීම අපමණයි. එමෙන්ම එය අප කිසිදාක අමතක නොකළ යුත්තක්.
මන්ද ඔවුන් එදා 96 ලෝක කුසලානය නොදිනන්නට, අද අපට ක්‍රිකට් කියා කියා දෙයක් නොතිබෙන්නට තිබුණා. එම ජයග්‍රාහණය නොවන්නට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස අද අප ලබන ප්‍රතිලාභ කිසිවක් අපට නොලැබී යන්නට තිබුණා. එබැවින් ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස අද අප අත්විදින්නේ එදා 96 විරුවන් කළ කැප කිරීම් වල ප්‍රතිඵල බව අප සියළුදෙනා නොපැකිලිව පිළිගත යුත්තක්. අර්ජුන අයියා, අරවින්ද අයියා, රොෂාන් අයියා, හෂාන් අයියා, සනත් අයියා, කලු අයියා, අසංක අයියා, කුමාර ධර්මේ අයියා ,මුරලි අයියා, වාස් අයියා, උපුල් චන්දන අයියා, මාවන් අයියා ඔබව, මාව ක්‍රිකට් පිස්සන් කල බවට නොරහසක්. මාද ඔවුන්ගේ ගමන් මග යමින්, ඔවුන්ව අනුකරණ කරමින් සැහැල්ලු පන්දු ක්‍රිඩා කල හැටි මට අදමෙන් මතකයි. එලෙස ක්‍රීඩාවට අත්පොත් තැබු මාහට මහේල අයියා, කුමාර් අයියා, ඩිලී අයියා , තිලාන් අයියා, රංගන අයියා වැනි අති විශිෂ්ඨයින් සමග එකම කණ්ඩායමක රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම මගේ ජීවිතයේ මා ලද විශාලතම භාග්‍යයක්. 96 ලෝක කුසලානයෙන් ලද පන්නරයෙන් දශක දෙකක් තුළ පෙරළිකාර ජයග්‍රාහණ රැසක් ලැබු අපට 2014 විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගැනීමට හැකි වුයේද රටවෙනුවෙන් ක්‍රීඩා කළ අපේ ක්‍රිකට් විරුවන් කළ අපමණ කැප කිරීම් නිසාමයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ එකි ස්වර්ණමය යුගයේ පංගුකරුවෙක් වීමට ලැබීම ගැන මගේ හිතේ ඇත්තේ නිහතමානි ආඩම්බරයක්. රටවෙනුවෙන් ක්‍රීඩා කළ ඉහත කී ක්‍රිකට් විරුවන්ගෙන් මා මෙන්ම මගේ සමකාලිනයන් වූ කුලේ,මාලි,ඇන්ජි, චන්දි, තිසර, සුරංග මෙන්ම තවත් විශිෂ්ටයන් උගත් දේ බොහෝමයි. තරග දිනීමට ඇති ආශාව, පැරදීමට ඇති අකමැත්ත, ක්‍රීඩාවට තිබු ආදරය,
ක්‍රීඩාව වෙනුවෙන් අප කළ යුතු අසීමිත කැපකිරීම් අප ඉගෙනගත්තේ ඔවුගෙන්. ඔවුන් තුළ ඒ තිබු ගුණාංගම ප්‍රේක්ෂකයින් ඔවුන්ට වැඩි වැඩියෙන් ආදරය කිරීමට පෙළඹවුවා යැයි මා සිතනවා.

අප අපගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් උගත් වටිනාම දේ සහ වත්මන් ක්‍රීඩකයින් ඔවුන්ගෙන් උගත යුතු ප්‍රධාන දේ විනයයි. මාගේ විශ්වාසයට අනුව ක්‍රීඩකයෙකු සතුව පැවතිය යුතුම ගුණාංගය වන්නේද විනයයි. විනය ගුණගරුක පුරවැසියෙකු බිහිකිරීමට මෙන්ම විශිෂ්ඨ ක්‍රීඩකයෙකු බිහිකිරීමටද බොහෝ සෙයින් ඉවහල් වනවා. විශිෂ්ඨයෙක් බිහිවන්නේ වචනයෙන් නොව ක්‍රියාවෙන්. ක්‍රීඩකයන් වන අපගේ අංක එක ක්‍රිකට් බව අපි යළි යළිත් මතක් කරගත යුතු බව මාගේ හැගිමයි.

ක්‍රිකට් කියන්නේ අපේ පුංචි රටේ මිනිස්සුට ආගමක්. මිනිස්සුගේ එකි බැදිම වියකී නොයන තැනට කටයුතු කිරීම ක්‍රීඩකයන් වන අපගේ පරම යුතුකමක්.
එබැවින් ක්‍රිකට් වලට සම්බන්ධ අපි සියලු දෙනා ඒ බැදීම වියකි නොයන තැනට එකතු වී කටයුතු කළ යුතුයැයි මා විශ්වාස කරනවා. දිවා රෑ නොබලා අප වෙනුවෙන් ඔල්වරසන් දෙන අපගේ ආදරණිය ප්‍රේක්ෂකයින් තවත් කළ කිරීමට ලක් නොවන තැනට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඔවුන්ට ජය පරාජය හොදට පුරුදුයි. ඔවුන් අපෙන් ඉල්ලනේ ජයග්‍රාහණයම නොව පැරදුනත් තරගකාරි ගෞරවනී පරාජයක්. ඒ වගේම ප්‍රේක්ෂකයාගේ ඇතැම් විවේචන සම්බන්ධයෙන් අපි සාධනිය අවදානයක් යොමු කළ යුතු යැයි මම සිතනවා. අපි ක්‍රිකට් ගැසුවද, ඔවුන් ක්‍රිකට් නොගැසුවද, ක්‍රිකට් පිළිබදව ඔවුන්ගේ දැක්ම විශිෂ්ඨ වන්නට පුළුවන්. වසර ගණනාවක් ක්‍රිකට් නරඹපු ප්‍රේක්ෂකයෙක්ගේ ක්‍රිකට් දැනුම අපට වඩා වැඩි වෙන්නටත් පුළුවන්. එබැවින් සෑම විවේචනයකම ගතයුතු දෙයක් ඇත්නම් ක්‍රීඩකයන් ලෙස අප එය ගත යුතුයි කියා මා විශ්වාස කරනවා.

වරදක් දුටු විට මුනිවත රැකිමම විටක අපගේ ක්‍රීඩාවේ පසුගාමිත්වයට හේතු වන්නට පුළුවන්. එබැවින් මා විශ්වාස කරනවා මේ ආදරණිය ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාමට ක්‍රීඩාවෙන් සමුගත් ජ්‍යෙෂ්ඨයන්, ක්‍රිකට් පරිපාලකයින්, වත්මන් ක්‍රීඩකයින් මෙන්ම ප්‍රේක්ෂකයින්ද එකට එකතු විය යුතුයි කියලා. මා විශ්වාස කරනවා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හදුන්වාදීමට මේ හොදම කාලය කියලා. මන්ද එවිට කිසිම කෙනකුට ක්‍රිකට් ක්‍රීඩාව තම හෝ ඔවුන්ගේ සිතැගි පරිදි වෙනස් කිරීමට ක්‍රිකට් පරිපාලනයට හැකියාවක් නැත. එය වඩාත් සුබදායක දෙයක් වේවි අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්.

අපි සියළුදෙනාම මතක තබාගත යුතුයි අපි අද යම් තැනක ඉන්නවාද, ඒ ක්‍රිකට් නිසා. ක්‍රිකට් අද යම් තැනක තියෙනවාද ඒ තියෙන්නේ අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සහ අපගේ ආදරණිය ප්‍රේක්ෂකයෝ නිසා. ක්‍රිකට් කියන්නේ අපේ හැකියාව වගේම අපේ රැකියාව. අපි අපේ හැකියාවට සරිලන රැකියාවක් ලැබීමට වාසනාවන්ත වී තිබෙනවා. එබැවින් මම විශ්වාස කරනවා රට වෙනුවෙන් සහ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් අපි අපගේ රැකියාව හරියට කරන්න ඕනේ කියලා. ලක්ෂ ගණනක් දක්ෂයින් අතරින් අති දක්ෂයින් බවට පත්වී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීමම අප සියළුදෙනා ලැබු භාග්‍යයක්. ඒ භාග්‍යය ලැබෙන්නේම ක්‍රීඩාවට ආදරය කරන්නන් අතුරෙන් ඉතා සුළු පිරිසකට. අපි හැමෝටම ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබෙන්නේ යම් සීමා සහිත කාලයක්. අපි හැමෝම කවදා හෝ විශ්‍රාම ගත යුතුයි. එබැවින් මා සිතනවා. අපි ඒ කාලය තුළ කළහැකි දේ රට වෙනුවෙන් උපරිමයෙන් කළයුතුයි කියලා. මන්ද ක්‍රිකට් ක්‍රීඩාවට වඩා අප කවුරුත් ලොකු නැත. අද මගේ, හෙට ඔබේ, අනිද්දා වෙන කෙනකු ඔබව, මාව ආදේශ කිරීමට පුළුවන, අප නිසා ක්‍රිකට් පවතින්නෙ නැත, ක්‍රිකට් නිසා ඔබට මට හැම දෙයම ලැබී ඇත.

අපට මේ ආදරණිය ක්‍රීඩාවෙන් රටම ගරු කරන රටම ආදරය කරන පුරාවෘත්තයක් බවට පත්වෙන්න පුළුවන් හැබැයි ඒ ඔබ, මම ක්‍රිකට් වලට මුල් තැන දීලා, එලෙසම ක්‍රීඩාව ගොඩනැගීමට අපට හැකිවන්නේ සියලුම දෙනා එකතුවී ( පැරණි ක්‍රීඩකයින්, පරිපාලකයින්, වර්තමාන ක්‍රිඩකයින්) රටට මුල් තැන දීලා පෞද්ගලික ලාභ ප්‍රයෝජන අමතක කරලා කටයුතු කලොත් විතරයි.

අපිට අපේ ක්‍රිකට් වසන්තය කරා ගෙන යන්න පුළුවන්….
එක මම අදත් හෙටත් විශ්වාස කරනවා…
නමුත් ඒ අපි හැමෝම එකට එකතුවුනොත් විතරයි…

වියළි කාලය පැමිණේවි, මහ වැසි අතිවේවි, සැඩ සුළං හමාවි නමුත් වසන්තය උදාවනවා සත්තයි….

ඔබ සියලුම දෙනාටම ජයවේවා, ජේසු පිහිටයි.තෙරුවන් සරණයි !

උපුටා ගැනීම – ධම්මික ප්‍රසාද්.සමාජ මාධය ගිණුමෙන්.

Leave a Comment